ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල් 12 ක වැසියන් සඳහා අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර ඇත.
ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ,” යනුවෙනි.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.
මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු මෙම තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් හෙළාදැක තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදි තීරණයක් බවය.
ජාතිකත්වය මත පදනම්ව පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙවැනි තහනමක් පැනවීම වෛරය පැතිරවීමක් ලෙස “හියුමන් රයිට් ෆස්ට්” සංවිධානය පෙන්වා දී තිබේ.