27.2 C
Colombo
Tuesday, August 26, 2025

ජිනීවා යෝජනාව ගැන රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දෙයි ….

Published:

ජිනීවා යෝජනාව ගැන රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දෙයි ….

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධන කිරීම පිළිබද යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනිමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචී ෆිස්ල්බර්ගර් මැතිනිය හමුවූ විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා රජය ගෙන ඇති අදාළ තීරණය පිළිබද දැනුවත් කර ඇති බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේ.

හෙට දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ආරම්භ වීමට නියමිතයි.

එය ලබන මාර්තු 20 වන දින දක්වා පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව ඇත.

එම කරුණු දැක්වීම පෙබරවාරි මස 27 වන දින සිදුවනු ඇති.

2015 ඔක්තෝබර්මස 30 එක දරණ සහ 2017 මාර්තු 34 එක දරණ පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබද 2019 මාර්තු 40 එක දරණ යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබද විදේශ ලේකම්වරයා මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරිය දැනුවත් කර ඇත.

අදාළ තීරණය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇති බව සභාපතිවරිය වෙත දන්වා සිටි බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන දූත පිරිසේ නායකත්වය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරණ බවත් රජය ගෙන ඇති තීරණය පිළිබඳව පෙබරවාරි 26 වන දින විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයින්ට දැනුම් දෙන බවත් රවිනාත ආරියසිංහ මහතා එළිසබෙත් ටිචී ෆිස්ල්බර්ගර් මැතිනිය දැනුවත් කර ඇත.

මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සිදුකරන වාචික කරුණු දැක්වීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බව ද රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රි ලංකා රජයගෙන ඇති තීරණය පිළිබඳව අදාළ යෝජනාව ගෙන ආ මූලික කණ්ඩායමේ එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල කොළඹ සිටින තානාපතිවරුන් දැනුවත් කර ඇති බව ද විදේශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img