27.2 C
Colombo
Wednesday, August 27, 2025

ජනපති හමුවෙන් පසු මහ බැංකුව ගත් තීරණ…

Published:

ජනපති හමුවෙන් පසු මහ බැංකුව ගත් තීරණ…

ආර්ථික පුනර්ජීවනයට සහාය දෙන ”නව ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට” සහ ”ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩුකිරීමට” ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.

කොවිඩ්-19 වසංගතය නිසා බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩගැනීමට මහබැංකුවෙන් කිසිදු සහායක් ලැබී නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මහබැංකු අධිපති ප්‍රමුඛ නිලධාරීන් වෙත දැඩිව චෝදනා කර සිටියේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් අදාල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී ගත් තීරණ 2ක් පිළිබඳව ඊයේ රාත්‍රී 10 ට පමණ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ආර්ථිකය යළි නගා සිටුවීමට සහාය වීමක් ලෙස නව ණය වැඩසටහනක් ක්‍රියාවට නැංවීම එලෙස ගැනුණු එක් තීරණයකි.

ඊට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 1% ක සහන පොලී අනුපාතිකයක් යටතේ ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදෙන අතර වාණිජ බැංකු එම අරමුදල් 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ණය වශයෙන් ලබාදීමට නියමිතය.

එමඟින් කොවිඩ් 19 හමුවේ බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක් සැපයෙනු ඇත.

එමෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩුකිරීම මෙහිදී ගෙන ඇති අනෙක් තීරණයයි.

එනම් වාණිජ බැංකු ජනතාවගෙන් භාරගන්නා තැන්පතුවලින් මහබැංකුව භාරයේ සංචිතවල රඳවා තබන ප්‍රමාණය 4% සිට 2% දක්වා අඩු කර ඇති අතර ඒ අනුව වානිජ බැංකුවකට මහජන තැන්පතුවලින් 98% ක්ම නැවතත් ණය සැපයීම සඳහා භාවිත කිරීමේ ඉඩ සැලසේ.

එමඟින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115 ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයේ.

මේ අතර මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයා බලා දින 14 ක් තුළ වාර්තාවක් ලබාගැනීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටුවක් පත් කර ඇත.

කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ හරිගුප්ත රෝහණධීර මහතා ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා මහබැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.පී.සිරිකුමාර සහ මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ජේ.පී.ගම්ලත් යන මහත්වරු එහි සෙසු සාමාජිකයින් වේ.

විශේෂයෙන් මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන මූල්‍ය සහ ලීසිං ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගනුදෙනු සිදු කිරීමේදී සිදුකරන්නා වූ සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි පියවර සහ නිර්දේශ ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම් දී ඇත.

මේ අතර මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගණුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් ඒ මහතා සඳහන් කර ඇත.

එහි පසු විපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img