බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව පොරබදිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සියලුදෙනාට ඇරයුම් කර සිටී.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
රට මුහුණ දී ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශයින් වැදගත් බව වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අප රටක් වශයෙන් මුහුණ දී ඇති ගැටලු හමුවේත්, ලෝකය හමුවේ මුහුණ දී ඇති ගැටලු හමුවේත්, විසඳුම් සෙවීමට උත්සහ දරණුයේ ප්‍රශ්නයක් තුළින් පැන නැගුණු ඵලයකට මිස එම ගැටලුව පැන නැගුණු හේතුව සොයා එය නැතිකිරීම නොවන බවය.