31.7 C
Colombo
Sunday, July 6, 2025

ජනතා බදු මුදල් රුපියලක්වත් වංචා කරන්නේ නෑ – ජනපති

Published:

ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරන බවද කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දසානායක මහතා මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි.

“ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට සමගාමීව සිදු විය.

වත්මන් රජය විසින් භාර ගනු ලැබුවේ නතර වූ රටක් බවත්, එම රට යළි පණ ගැන්වීම උදෙසා බදු යාන්ත්‍රණය විධිමත් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම රටක් ලෙස අපි පරිවාසයට ලක් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති විස්තීර්ණ ණය ගිවිසුම මෙරට ඒ ආකාරයේ අවසන් වැඩසටහන බවට පත් කර ගනිමින් ස්වෛරී ආර්ථිකයක් ගොඩනැගීමට එක් වන ලෙසද සියලු ජනතාවට ආරාධනා කළේය.

ජනතාව තුළ බදු ගෙවීමට ඇති අසුබවාදී ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරීමත්, විනිවිදභාවය සහ වගවීමෙන් යුතු නව බදු සංස්කෘතියක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් බදු ශක්ති ජාතික බදු සතිය ක්‍රියාත්මක කෙරේ. අද (02) සිට එළැඹෙන 07 වන දා දක්වා වූ සතිය තුළ හඳුන්වාදෙන නව බදු ගෙවීමේ වේදිකා සම්බන්ධයෙන් සහ බදු මුදල් රටේ සංවර්ධනයට දායක වන අන්දම මෙන්ම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2024 තක්සේරු වර්ෂයේ පුද්ගල ආදායම් බදු වාර්තාව භාර දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත වේදිකාව විවෘත කිරීමද මෙහිදී සිදු වූ අතර 2024/25 තක්සේරු වර්ෂයේ ලබා දෙන පළමු බදු වාර්තාව ලෙස ජනාධිපතිවරයා විසින් සිය පුද්ගලික ආදායම් බදු වාර්තාව අන්තර්ජාලය වෙත එක් කිරීම සිදු විය.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ASYHUB පද්ධතිය දියත් කිරීමද මෙහිදී සිදු කෙරිණි. ජර්මන් රජය සහ UNCTAD ආයතනයේ සහයෝගයෙන් නවීකරණය කරන ලද මෙම පද්ධතිය මගින් ආනයනකරුවන්ට භාණ්ඩ මෙරටට ළගා වීමට පෙර බදු කටයුතු කර ගැනීමේ අවස්ථාව උදාවන අතර ඒ තුළින් සහ රේගුව ක්‍රියාත්මක කරනු ලබන අවදානම් කළමනාකරණ මෘදුකාංගය තුළින් අවදානම් රහිත බහළුම සෘජුවම නැවෙන් බෑමෙන් පසු අදාළ ආනයනකරුවන්ගේ ගබඩා තෙක් රැගෙන යාමට පහසුකම් සැලසේ.

මේ අතර නීත්‍යනුකූල නිෂ්පාදිත මත්පැන් බෝතල් ආරක්ෂිත සලකුණු පද්ධතිය හරහා හඳුනා ගැනීම සඳහා වන ජංගම යෙදුම සුරාබදු නිලධාරින් වෙත හඳුන්වා දීමද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img