28.9 C
Colombo
Monday, September 8, 2025

කූඨ ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට…

Published:

විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (ඔක්. 5) අත්අඩංගුවට ගත්තේ ය.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවා ඇති අතර එම මුදලට ලාභදායි පොළී මුදලක් නොගෙවීම මත කෝටිපතියන් 10 දෙනෙකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

මේ පුද්ගලයන් අතර එක්තරා සුප්‍රසිද්ධ සුපිරි දේශපාලනඥයෙකු ද සිටින බවත් මැය අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ සහ ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ (එපාර්ට්මන්ට්) ලබාදෙන බව කියමින් ද ඇය මුදල් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් කීය.

සැකකාරිය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලී පදනම මත ලබාගෙන මෙම ව්‍යාපාරයේ යෙදෙන අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 16ක් ගෙවන බව ද හෙතෙම සඳහන් කළේ ය.

සැකකාරිය අවි සහිත ආරක්ෂක භටයන් සමග ගමන් කරන බව ත් ඒ සඳහා ඇයට ආරක්ෂාව ලබා දී ඇත්තේ සුප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

ඇය මෙම නීති විරෝධී ක්‍රියාවල යෙදීමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන අතර ඒ සඳහා ඒජන්සි 5ක් ලියාපදිංචි කර ඇති බව ද රහස් පොලිසිය කීය.

එක්තරා සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ලාභයක් ලබාගැනීම සඳහා කෝටි 40ක් ලබා දී ඇතත් එම මුදල ඇය වංචාසහගත ලෙස ලබාගත් බව කියමින් ඔහු පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

ඇයට හසු වූ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නළුවෙකු ගැන ද තොරතුරු හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

විදේශ ව්‍යාපාරවල තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි දේ කියමින් දිවයිනේ සුප්‍රසිද්ධ කෝටිපතියන් ඇසුරු කළ ඇය ඔවුන් සමග කාලය ගත කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.

බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි වාහන සතු ඇය ආරක්ෂා කිරීම සඳහා වෙනම ම ආරක්ෂක කණ්ඩායමක් ඇය සතුව ඇති බවත් එම ආරක්ෂක කණ්ඩායමේ ප්‍රකාශ සටහන් කර ගැනීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයන් ‘බ්ලැක් මේල්’ කරමින් ද මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ත් ඒ සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කර ගැනීමට ඊයේ ම විමර්ශනයක් ආරම්භ කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

සැකකාරිය කෝටිපතියන් පමණක් ඇසුරු කර ඇති බවත් ඇයට හසුවුණු ශ්‍රී ලාංකික ජනප්‍රිය කෝටිපතියන් රැසක් ගැන මේ වන විට ත් තොරතුරු හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,520FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img