30 C
Colombo
Saturday, July 5, 2025

කුසල් ජනිත්: “ක්‍රිකට් තේරීම් කමිටුව කිව්වොත් ලෝක කුසලානයට යන්න කියලා මම ලෑස්තියි”

Published:

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් මේ දිනවල ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය සහ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ගැන දක්වන අදහස් කිහිපයකි,

“කුසල් ජනිත් තරග 10ක් ෆේල් වුනත් කණ්ඩායමේ ඉන්න ඕනේ. මොකද එක තරගයක් තනියෙන් දිනවන්න පුළුවන් කෙනෙක්,” ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරාගේ ඇති අවශ්‍යතාව මතුකරමින් ශ්‍රී ලංකා හිටපු නායක අරවින්ද ද සිල්වා සිය අදහස් දැක්වීය.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ ‘හොඳම ඉනිම’ ලෙස විචාරකයන් හැඳින්වූ ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් පසුගිය පෙබරවාරි මාසයේ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නැංවුයේ ඉදිරි ලෝක කුසලානයටත් සුභ පෙරනිමිති පෙන්වමිනි.

කෙසේ වෙතත් ටෙස්ට් තරගවල දැක්වූ දස්කම් එක්දින තරග වලට රැගෙන ඒමට ඔහුට නොහැකිවූයේ දකුණු අප්‍රිකාවේ පැවති එක්දින තරගාවලියේ ඔහු ආබාධ තත්වයකට ලක්වීම හේතුවෙනි.

සිය ආබාධයෙන් පසු කුසල් ජනිත් පෙරේරා දැන් නැවත සිය ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් ආරම්භ කර තිබේ.

“මම දැන් පුනරුත්තාපන කටයුතු ආරම්භ කරලා සති 3ක් විතර වෙනවා. මම හිතුවට වඩා ගොඩක් ඉක්මනට මේක සුව අතට පත්වෙලා තියෙනවා. ලබන සතියේ මම දුවන්න පටන් ගන්නවා. මම හිතනවා තව සති 2,3කින් මට පන්දුවට පහර දෙන්න පුළුවන් වේවි කියලා,” ආර් ප්‍රේමදාස පිටියේ පුහුණුවීම් අතරතුර කුසල් ජනිත් කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැකිද යන ප්‍රශ්නයට කුසල් ජනිත් පෙරේරා පිළිතුරු ලබා දෙමින් පැවසුවේ, “හැමදේම ධනාත්මක පැත්තේ තියෙන්නේ, මට හිතෙනවා මට අවස්ථාවක් තියෙනවා කියලා,” යනුවෙනි.

“මම බලන්නේ කොහොමද ඉක්මනට මම සුව වෙන්නේ කියලා. ලෝක කුසලානයකට මම යනවද කියලා මට කියන්න බැහැ හේතුව මට පුළුවන්දේ මම ෆිට් වෙලා තරග ක්‍රීඩා කරන්න පුළුවන් තත්වයට එන එක.තේරීම් කමිටුව තමයි ලෝක කුසලාන සංචිතය තෝර ගන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි යන අන්තිම කට්ටිය තෝරන්නේ.”

“මම මට පුළුවන් දේ කරනවා, තේරීම් කමිටුව කිව්වොත් ලෝක කුසලානයට යන්න කියලා මම යන්න ලෑස්තියි.”

ක්‍රිකට්

පසුගිය වසර කිහිපය තුළ කුසල් ජනිත් පෙරේරා අවස්ථා ගණනාවක විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කර කතාබහට ලක්වුවත් ඔහුට තරගාවලි කිහිපයක් එක දිගට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවූයේ නිතරම හටගන්නා ඔහුගේ ආබාධ තත්වය හේතුවෙනි.

“ඇත්තටම ගොඩක් කණගාටුයි. මගේ ඉතිහාසයේ කකුල් දෙකේම ආබාධ තත්වයන් තිබුණා.”

“මම අන්තිම අවුරුද්ද දෙකේ තරග කිහිපයක් ගහනවා ඊට පස්සේ ආබාධයට ලක්වෙලා තියෙනවා. මම ගොඩක් ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් එක්ක කරනවා, ගොඩක් ප්‍රශ්න අඩුයි. නමුත් තරගයක් ක්‍රීඩා කරද්දී කොයි වෙලාවේ ආබාධයට ලක්වෙයිද කියලා කියන්න බැහැ හේතුව තමා ෆිට්ද කියන එක එතනට බලපාන්නේ නැහැ.”

“තරගයකදී දුවන්න පනින්න වෙනවා. ඇඟක් ගැන හිත හිත තරග සෙල්ලම් කරන්න බැහැ. මොකද ඒ වෙලාවට කරන්න එනදේ නොදැනුවත්වම වෙනවා.”

“ගොඩක් වෙලාවට ඇත්තටම අවාසනාවන්තයි. මොකද මගේ ශාරීරික යෝග්‍යතා වාර්තා අරන් බැලුවොත් ඉහලින්ම ඉන්න වෙලාවකයි මේ ආබාධයට ලක්වුනෙත්,” කුසල් ජනිත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සම්බන්ධ වන්නේ ක්‍රීඩා කරන රටවල් අතරින් අවසාන වසර කිහිපයේ අඩුම ජයග්‍රහණ ප්‍රතිශතය වාර්තා කළ රට ලෙසය.

මෙලෙස එක්දින තරගවල දිගින් දිගටම ලබන පරාජයන් ගැන අදහස් දැක්වූ ඔහු, “අපි දිගටම එක්දින තරග පරාජය වීමයි මෙතන තිබුණු ගැටළුව. නමුත් මෙවර ලෝක කුසලානය ගත්තම අපෙන් ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැති නිසා අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. අපි හැමෝම අපේ පුද්ගලික දක්ෂතා වැඩිකරගෙන ක්‍රීඩා කළොත් මේ පරදින රටාව වෙනස් කරන්න පුළුවන්” යනුවෙන් අවසාන වශයෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img